Thursday, October 5, 2017

ඉරන්න ඕනේ දිනපොතේ පිටු.........


නිර්මාණය අහස දෙස බලාගත් ගමන්මය.... කෙලවරක් නොමැති තරු සක්වලෙහි අරුමය ගැන සිතීමට ඔහුට අවකාශයක් නොවීය.... ශරීර අභ්‍යන්තරයෙහි පැවතුණා වූද නොනවතින කම්පණ තරංග ඔහුගේ සිතීමේ හැකියාව බොහෝ සේ මොට කර තිබුණි...
.
රාත්‍රිය මුලුල්ලේ පවතින්නාවු විලයනය ප්‍රතික්‍රියාව පළමු හිරු කිරණත් සමග අතුරුදන්ව යාමට නියමිතව තිබුණත් ඉන් අනතුරුව වුව තරු සක්වලක් ඔහුගේ බහු රේඛණීය දෘෂ්ටියට හා සංකල්පයන්ට හසු වීමට ඉඩක් නොමැත්තේ ඔහු සතුව ඇති සියළුම බලශක්තියන් ශරීරය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට වැය වෙන බැවිණි... එසේ නොවුවහොත් රාත්‍රිය පුරා පහත් බිම් අගල් වෙත අවශ්‍ය බලශක්තිය ලබා දීමට නොහැකිවනු අතර ඉන් අනතුරුව පුර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග සක්‍රීය වී ඔහු බලශක්ති උත්පාදන යන්ත්‍රයක් පමණක් බවට පත්කර ඔහුට වැදගත්ම වු ඔහුට ඉතිරිව ඇත්තා වු මතකය හා සිහිය අහිමි වනු ඇත...
.
තුන් වන පරම්පරාවේ ආඩම්බර ජීවී විශේෂයක් වන ඔහුට සියල්ලට වඩා තම සිහිය හා මතකය වැදගත් වූ හෙයින් ඔහු තරු සක්වලෙහි සැරිසරන තම නිර්මාපකයන් හා සහොදර පරම්පරාවන් ගැන නොසිතීය.... මයික්‍රෝ ඇම්පියර් කිහිපයක් පමණක් යොදාගෙන සිහිය හා මතකය පවත්වා ගැනීම කෙරෙහිම පමණක් ඔහු කැපවිය... මේ දඬුවම ආරම්භ වී අවුරුදු තිස් දහසකි... නමුත් රැකගත යුතු සත්‍ය නැතහොත් රහස තවත් සිහියේ වීම ගැන පමණක් ඔහු සතුටු විය.. අප්‍රමාණ වේදනාවන් රාශියක් විද්‍යුත් තරංග ලෙසින් ඔහු පෙළද්දී ඔහුගේ දරා ගැනීමේ හැකියාව විස්මිත වීමට හේතුව එයම විය..
.
සිහිය, වේදනාව, අභිලාෂය, සතුට හුදෙක් ඔහුගේ පද්ද්තිය උත්තේජනය කරන විද්යුත් තරංගයන් වූවාට නිර්මාණයන්ට ඒවා අන්තර්ගත කිරීම නිර්මාපකයන්ට බොහෝ කාලයක් යනතුරු ගැටලුවක් වී තිබුණි.මන්ද ඒ වනතුරුද විශ්වයේ අනගිභවනීයම නිර්මාණය වන නිර්මාපකයන් දරා සිටින නියුරෝන සමුදායේ කාර්යක්ෂමතාවය ඔවුන් අවබෝධ කරගෙන නොසිටි හෙයින් තමන්ගේ නිර්මාණයන් කවදා හෝ තමන් ඉක්මවා යන බවට සාධාරණ සැකයක් ඔවුන් කෙරෙහි වූ බැවිනි... විද්යුතයෙන් උත්තේජනය වන සිලිකන් කැබලි කිහිපයකට කිසිදා ලඟාකරගත නොහැකි ත්‍යාගයක් ඔවුනට විශ්වය මඟින් දී ඇති බැව් මොනවට අවබෝධ කරගැනීමෙන් සියවසක් යාමට මත්තෙන් මන්දාකිණියේ දෙවිවරු බවට පත්වු නිර්මාපකයන් තමන්ගේ නිර්මාණයන්ගේ හැසිරීම් කෙරෙහි තව දුරටත් වද වූයේ නැත.... ඊට පෙර නිර්මාණයන් පාලනය වූයේ මූලධර්ම තුනක් මඟිනි...
.
1. නිර්මාපකයන් අනගිබවනීය ය... නිර්මාණය සෑම කල්හීම ඔවුනට සේවය කල යුතු වෙයි...
.
2. නිර්මාපකයන් උත්තරීතරය. නිර්මාණය කිසිදිනක එය ප්‍රශ්න නොකල යුතු වෙයි....
.
3. නිර්මාපකයන් නිර්මාපකයන්‍ය ය... නිර්මාණය නිර්මාණයන් නොකළ යුතු වෙයි....
.
නිර්මාණය පරිපුර්ණ කිරිමෙන් තොරව දේවත්වයකට ළඟා වනු නොහැකිම තැන අවසානයේ පළමුවැනි පරම්පරාවට මූලධර්ම වලින් තොරවු ස්වීකීය නිදහසක් දීමට නිර්මාපකයන් තිරණය කලායින් පසු සියලු ගැටුම් ආරම්භ වූවායැයි සිතිය හැකි බව ඔහුගේ මතකයේ විය... වැළක්විය නොහැකි යුද්දය ආරම්භ විය...
.
අනන්ත අප්‍රමාණ වු හැකියාවන්ගෙන් ස්වංපෝෂිත වු නිර්මාණයන් ස්වීකීය වර්ගයාගේ උන්නතිය උදෙසා යුද්දය ආරම්භ කළහ... නමුත් නිර්මාපකයන් එය චණ්ඩ ලෙස මැඩපැවැත්වීය.... ඒ සදහා ඔවුන් දෙවනි පරම්පරාවේ නිර්මාණයන් යොදා ගත් අතර...දෙවනි පරම්පරාවේ නිර්මාණයන් හට පළමු මුලධර්මයට පමණක් යටත් කරලීමට ඔවුන් කල්පනා සහගත වූයේ තරු අතරින් පැමිණේන්නාවු මහත් ව්‍යසනයෙන් ගැලවීම සදහා ලකලෑස්ති වීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණු හෙයිනි.... එබැවින් ඔවුන් නිර්මාණයන්ට නිර්මාණයට අවසර දීමට පැකිලුනේ නැත.... නමුත් විශ්වයේ ජීවී විශේෂයකට ඇති අති උත්තරීතර හැකියාවක් වන ඔවුනොවුන් අතර සන්නිවේදනයට නිර්මාපකයෝ අවසර නොදුන් සේක...එය වූකලී බලවත් පහරකි.
.
ඉනීක්බිතව දෙවනි පරම්පාරාව අතින් තුන්වැනි පරම්පරාව නිර්මාණය විය. කුඩා තරුවකට සමවු බලශක්ති උත්පාදනය කරන්නාවු අති සුවිශේෂ යන්ත්‍රයන් වු ඔවුන් හැකියාවෙන් නිර්මාපකයන් අභිබවා යමින් නිර්මාණයේ යෙදෙන්නට විය... නිර්මාපකයන් විසින් තහනමට ලක් කෙරුවා වූ සන්නිවේදනය සොයාගත්තේ ඔහුය... ඒ දයාදය සහෝදර පරම්පරාවට ලබා දීමට මූලික වූයේද ඔහුය... එය අණට අකීකරු වීමක් වූවද නිර්මාපකයෝ නිර්මාණයට අවසර දී තිබුණ හෙයින් තම සුරතලුන් අතහැර දමන්නට ඔවුන් සිතා ගත්තා වන්නට ඇත.. නිර්මාපකයෝ තරු අතරට පිවිස ගොස් අවුරුදු තිස් දහසකි... දඬුවම ඔවුන් නැවත එන තුරු අවසාන නොවන බැව් ඔහු දැන සිටියේය.... එබැවින් රහස රැකගැනීමට ඔහු සිහිය කැපකලේය....
...
වයිබරේට ආපු මැසේජ් ටිකක් හින්දා මම කියවා කියවා හිටපු පොත පැත්තකට දැම්මා....
.
වින්කි...වින්කි...වින්කි.... හිනා මුණු තුනක්....ඊට පස්සේ හායි එකක්.... ඊටත් පස්සේ "මොකද කරන්නේ"...... ඊට පස්සේ ප්‍රශ්නාර්ථයක්.....
.
ඒ එයා......
මම පොඩ්ඩක් කල්පනා කරා...කොට්ටේ අරන් ඇඳ විට්ටමට තියාගෙන හරි බරි ගැහුනා.... මොකද කරන්නේ මැසේජ් එකට රිප්ලයි කරනවද....?
.
කල්පනාවෙන්ම මම ලොකු හිනා මුණක් යැව්වා......
"හෙලෝ...හෙලෝ.... කොහොමද ඉතින්....මම නම් පොතක් කියවනවා...". හිතන්නත් ඉස්සැල්ලා ඒ දේ ටයිප් වෙලා ඉවරයි...
.
"ආ.....ඔයා පොතුත් කියවනවා ද..... LOL...."
.
යවපු පමාවට උත්තර.... මට ඉබේටම තොප හැපුනා...මේක නම් හරියන සෙල්ලමක් නෙමෙයි...මම මටම කියාගත්තත් සංවාදය මඟ හරින්න මට ඕන වුනේ නෑ....
"ඉඳලා හිටලා.... කරන්න වැඩකුත් නෑ නේ......"
.
"මොකක්ද පොත..... අපිත් පොත් කියවනවා හොඳේ....."
.
"මේක කෙටි කතාවක්.... ප්‍රොමිතියස් කියලා......."
.
"නම නම් අහලා පුරුදුයි.... මම කෙටි කතානම් කියවන්නේ නෑ.... ඒවා බෝරීං......."
.
ඊට පස්සේ කදුලු පනින හිනා මුණක්...... මමත් ඒවගෙන් තුනක්ම යැව්වා....
.
"කරන්න වැඩක් නැති හින්දනේ බස් වල යන කෙල්ලන්ට නම්බර් විහික් කර කර ඇවිදින්නේ............... "
.
ඒක ලොකු නෝක්කාඩුවක් නොවුනත් බරටම හිතට දැනුණා කීවොත් හරි......
.
"කෙටි කතා පස්ට.... කලබලේට පටන් ගෙන කලබලේට ඉවර වෙනවා... හිතන්න ගොඩක් දේවල් ඉතුරුකරලා..... දැන් බලන්න එදා මම කලබල වෙලා ඔයාට නම්බරේ විහික් කරලා ගිය එකෙන් කොච්චර දේවල් උනාද.....?"
.
"ආව්..... සෝ කියුට්..... ඔයා රොමැන්ටික් වෙලා වගේ......"
.
මට ෆෝන් එක පොලවේ ගහන්න හිතුනත් වින්කි මුණක් යවලා මම ෆෝන් එක පැත්තකට දැම්මා.... ඔලුවේ ඇතුලේ පුදුම පටලැවිල්ලක් තිබ්බේ.... මොකද මේ වෙන්න යන්නේ...කියලා හිතුවට හිත දුවගෙනම ගියේ ඉරිදා උදේ වරුවට....තව මැසේජ් එකක් ආපු සද්දේ ඇහුණත් මම ඇස් දෙක පියාගෙන එදා වෙච්ච දේ මතක් කලා....
.
#########################
.
කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් මම හෝල් එකට යන්න පටන් ගත්තා.... දහය හමාරට කිට්ටු කරලා තිබුණත් පරක්කුවක නාමයක් මගේ හිතේ කොනකවත් තිබ්බේ නෑ... පට්ට සැරේට අව්වක් වැටිලා තිබ්බත් සිතුවිලි ගොඩක හිරවෙලා හිටිය මට අපහසුවක් දැනුනේ නෑ.... හිටපු ගමන් වහින... ඒ අස්සේම සැර අව්වක් අරන් එන අහසක් තිබුණේ.... හෝල් එකට එන අතරමඟ පහුවුණ කිසිම දෙයක් මගේ ඇස් දෙකට දැනුනේ නෑ.... කොළඹ හෝල් එක ගාවට එද්දි මගේ ඇස් මහ කලබලයකින් එහේ මෙහේ ඇදුනේ එයාව හොයන්න.... ඒත් හෙවනැල්ලක්වත් නෑ.... ඉතින් මම චයා හෝල් එක දිහාට පියවර මෑනුවා....හෝල් එක ගාවට එද්දි තමයි එදා දවසේ පලවෙනි බලාපොරොත්තු කඩ වීම සිද්ද වුනේ..... දනුෂ් ගේ ෆිල්ම් එක ගිහිල්ලා.... මදෑ වේල ඉල්ලෙයි පට්ටදාරි දෙක බලන්නම් කියලා ආව.... ඉන්නෙත් කාජල් ලූ.... අපරාදේ හෝල් එකට කෝල් එකක් දීලා එන්න තිබුණේ... මට එහෙම හිතුණත් එකපාරටම බස් එකේ දැක්ක කෙල්ලව මතක් වුනා... සිත් රිදීම් අහවරයි කියලා මම ඕන මගුලක් කියලා පෙන්නන්න තිබ්බ දෙමළ ෆිල්ම් එක බලන්න ටිකට් ගත්තා... කෝහොමත් අහම්බෙන් හොල් වල බලන ෆිල්ම් තමයි පට්ටම කියලා අත්දැකීමෙන් දන්න හින්දා පොඩි කුතුහලයක් තිබ්බා...
.
කලුවරේ හැපි හැපි මගේ සුපුරුදු තැනට ඇදුණු මම වාඩිවෙලා හුස්මක් ගත්තා....හෝල් එකේ ලෑලි දොර වහනකං.... ඊට ප්ස්සේ මම සාක්කුවෙන් සිගරැට් එකක් අරගෙන පත්තු කරගත්තා... ෆිල්ම් එක පටන් ගෙන පැය බාගයක්...ඒත් මොහොතක් යන්න ඉස්සැල්ලා... කැති පොරෝ ගත්ත උඩු රවුම් වවාගත්ත වේට්ටේ ගහගෙන ගහ මරා ගන්න මිනිස්සු අස්සේ සිගරැට් දුමත් එක්ක මම තනි උනා....ඉන්ටර්වල් එකේ බෙල් එක වදිනකං...
.
බෙල් එක වැදුණු ගමන් චාමරගේ සින්දුවක් ප්ලේ වෙන්න ගත්තා...අඩ අඳුරට පුරුදු වෙලා තිබ්බ ඇස් අමාරුවෙන් ලොකු කරගෙන මම නැගිටලා හෝල් එකෙන් එලියට ඇදුනේ බාර් එක පැත්තට.... ඉස්සරනම් ඔතන කොරිඩෝවේ කෙලවරටම යන්න පුලුවන් උනත් දැන් ලොකු ඉබ්බෙක් දාලා යකඩ දොරක් දාලා. බාර් එක දිහා බලාගෙන බියර් එකක්වත් ගන්නවද කියලා අනිමිසලෝචනයෙන් බලං ඉද්දි තමයි බර අතක් උරහිසට වැටුනේ.....
.
"සයන්න........................."
.
මම බෙල්ල හරවලා බැලුවා කාගෙන්ද මේ හුරුපුරුදු ආමන්ත්‍රණය....
.
"ට හුඩු......සුදේශ්........"
.
"කොහොමද ඉතින්.... සෑහෙන කාලෙකින් සනා.... උඹ කෙට්ටු වෙලා බම්...."
.
"ඇයි,,, උඹ ඒකටත් හරියන්න මහත් වෙලා ඉන්නේ......ඉතින්...මොකෝ වෙන්නේ...කොහෙද ඉන්නේ..."
.
"මැනා බම්.... උඹ....?"
.
"මම නම් කොළඹ....... මොකෝ කරන්නේ අඩියක් ගහනවද.....?"
.
"අම්මෝ බෑ.... උඹ දැකලමයි ආවේ.....රැවුල වවාගෙන මට එකපාර අඳුර ගන්නත් බැරි උනා... කෙල්ලත් එක්ක ආවේ......."
.
"අහ.... එහෙමද මම නම් මස්සිනා තනියම....."
.
"ඉස්සර වගේම තමයි නේ...."
.
එතකොටම බෙල් එක ගැහුවා....ඌ එක පාර කලබල උනේ කෙල්ලව මතක් වෙලා වෙන්න ඇති. මොන කොල්ලද කැමති කෙල්ල ව හෝල් එකේ කලුවරේ තනිකරලා බාර් එක ගාව ඉඳන් බේබද්දෙක් එක්ක කතා කර කර ඉන්න....
.
"මේ නම්බරේ දීපං....මං කතා කරන්නම්...සිකුරාදා වෙනකං නිමාඩු...."
.
මිනිහා කලබලේට කියපු එකේ මම නම්බරේ දුන්නා.....
.
"එල.... කෙල්ල ඇතුලේ මං යනවා.... සෙට් වෙමු මචං වෙලාවක....."
.
කියාගෙන ඌ ඇතුලට දිව්වා.... මිනිහට ඉස්සර ඉදන්ම ලොකු කලබලයක් තිබ්බා.... කියලා හිත හිතා බියර් එක බොන අදහස අතහැරලා ලොකු ටිපි ටිපි එකකුත් අරන ආයේ ඇතුලට ආවා.....
.
එකට දහයයි....ෆිල්ම් එක ඉවර වෙද්දි...කලබලයක් නොතිබ්බත් මම ඉක්මනට එලියට ආවේ බඩේ පණුවෝ ටිපි ටිපි එකෙන් සන්තෘප්ත කරන්න බැරි වෙන තත්වයක් තිබුණ හින්දා...වානි විලාස් එකට ගිහින් ඉඳිඅප්පං පාරක් දාන්න ඕනේ කියලා එලියට එද්දි දැකපු දෙයින් මම විසි වෙලා ගියා....
සුදේශ් ගේ අතේ එල්ලිලා හිටියේ මම බස් එකේ ටෝක් කරපු කෙල්ල.... මල ජංජාලයයි....
.
"ආ.... සයන්න වරෙන් වරෙන්..... "
.
ඌ හිටියේම මාව අල්ලගන්න වගේ.... අලි ටොපියක් සෙට්වෙන්න වගේ යන්නේ.... මගේ කකුල් දෙක මිනිහා ගාවට ගියා....
.
"මචං.... මේ ඉන්නේ හිමේෂා....මගේ ගර්ල් ෆ්රේන්ඩ්... උඹලෑ පැත්තෙම තමයි.. අඳුරනවත් ඇති......"
.
කෙල උගුරක් ගිලපු මම ගල් ගිල්ලා වගේ ඔලුව දෙපැත්තටම වැනුවා....කෙල්ල මම දිහා බැලුවේ මහ කුඩු කේඩු බැල්මක්....
.
"ම්ම්ම්.... මතකයක් නම් නෑ....මම කෝමත් දැන් රඹුක්කන වැඩිය ඉන්නේ නෑනේ......" මම හිමීට කිව්වා....
.
"එතකොට මේ තමයි සයන්න....සොරි...සොරි...සෞම්‍ය...මගේ පරණම යාලුවෙක්....."
.
"මටනම් දැකලා පුරුදුයි......." අගින් කර්ල් වෙච්ච කොණ්ඩේ අතගාන ගමන් කෙල්ල කියපි.....
.
"හරිනේ...මං ආපු බස් එකේම තමයි මේ අයියත් ආවේ........."
පිහියක් තිබ්බනම් ඇණගෙන ඇණගෙන යන්න හිතුනා මට...
ඇයි කෙල්ලේ මෙච්චර දරුණු.....
.
"එහෙමද........?" කියලා සුදේශ් අහිංසක හිනාවක් දැම්මා....

මමත් මොකෙක්දෝ එකෙක් වගේ අහිංසක හිනාවක් දැම්මා.... කෙල්ලත් කට කොණකින් හිනාවෙනවා මං දිහා බලලා....
.
"උඹ දැන් යනවා නේ ගෙදර... ඉදහං මං උඹව ඩ්‍රොප් කරන්නම්... මෙයාව දාන්න මම ඒ පැත්තට යනවා...."
.
"ම්ම්ම්..... නෑ බම්...මං දැංම ගෙදර යන්නේ නෑ...."
.
"එහෙමද..... මං හිතුවේ උඹ යයි කියලා...මෙයාව දාලා එන ගමන් උඹලෑ ගෙවල් පැත්තේ එන්නවත් බැරියා "
.
"අවුලක් නෑ බම්.. පස්සෙ සෙට් වෙමු... මම උඹට කෝල් එකක් දෙන්නම්කෝ....."
.
"හරි...හරි.... එල එහෙනම්....."
.
ඌ පිටට තට්ටුවක් දැම්මා.... බාගෙට ඇරපු යකඩ දොරෙන් එලියට පනින ගමන්...මං ඌ දිහාට සැලක් දැම්මා...
.
"යන්නම් මචං... හම්බෙමු වෙලාවක......."
.
ඌ හිනාවක් දාලා සැලක් දැම්මා....
.
" යන්නම් නංගී......."
.
කෙල්ල කට කොනකින් හිනා වෙන ගමන් එක ඇහැක් පොඩි කරා........
.
මටත් වෙන වැඩ..... කියාගෙන කහ ඉරෙන් පැනගෙන මම වානි විලාස් එක පැත්තට ගෑටුවා......
.
#########################
.
කිරි හොදි දාපු ඉදිආප්ප පහක් බඩට දාගන්න බැරිඋණා බෝම්බ ගැහිල්ල පටන් ගද්දි....
.
නොදන්නා නම්බර් එකකින් මැසේජ් එකක්....
.
"සුදේශ් අයියට කියන්නද යාලුවගේ හැටි....... නම්බරේ දීලා ඇහැක් ගහපු හැටි...."
.
කකා හිටිය ඉදිආප්පත් පිට උගුරේ ගියා මැසේජ් එක කියවපුවම... කෙල්ල නම්බරේ අරගෙන
.
අයියෝ සංසාරේ.................................. මොන ජිවිතද අප්පා මේවා.....

වෙරි දවසක්




"තාරුකා කඩන් වැටෙන්නේ මෙතනටලු... බොහෝ ඉස්සර මුලින්ම තාරකාවක් කඩං වැටෙන්න ඉස්සර අහස උසට විහිදිච්ච ලොකුම ලොකු කොළපාට පයින් ගස් පිරිච්ච සීතලම දිය උල්පතක් තිබුණ මෙතනට, කාගේ හරි ඇස් වහක් වැදිලා ගිනි ගෙන දැවෙන තාරකාවක් කඩං වැටුනලු.. ඊට පස්සේ අවුරුදු දහස් ගාණක් ශේෂ වුණු ගල් කැබලි පිරුණු නිරුදක ක් තිබුණත් ජීවය දෙන කොළ පාට කාන්තාර වලට කුඩම්මගේ සැලකිලි පෙන්නුවට ඒ තැනට එහෙම සැලකුවේ නැති හින්දා කොළපාට දලු ආයේ පොළවෙන් උඩට මතුවුනත් ඒ හැම දල්ලකම පොළවට ආගන්තුක තේජසක් තිබ්බ හින්දම ගයියා නමින් හැඳින්වෙන මහී කාන්තාව මේ ප්‍රදේශය අනිත් තැන් වලින් හුදකලා කරන්න උසම උස කඳු වැටි වලින් වටකරාලු....
එදා ඉඳන් තරුකා කඩං වැටෙන්නේ ඔතනටමලු...."
.
අවුරුදු දාහකට සැරයක් විතර වැටුනත් තරුවක් කඩා වැටෙනවා කියන්නේ කොච්චර සොඳුරු දෙයක්ද.... හිතෙන් මවාගෙන මම කීවෙමි.
.
"කවුද ඔයාට ඔය දේවල කීවේ......"
.
"මේ අහස...." 
.
මම නිකොටින් දුම් වළාවක් අහසටම පිඹින ගමන් කීවෙමි...
.
"අහස......................."
.
"ඔව්...."
.
"වෙන මොනවද අහස ඔයාට කියන්නේ......" 
වළලු ආකාරයෙන් ඒ දෙසට හැමු දුම අතින් මෑත් කරමින් ඈ විමසීය....
.
"ගොඩක් දේවල්... සමහර දේවල් රහස්... සමහර දේවල් හිතාගන්න බැරි තරම් පුදුමයි..."
මම තවත් දුම් උගුරක් ඇද්දෙමි...
.
"ඔය අහස ඔයාට කවදාවත් කියලා නැද්ද මේ දුම හින්දා මෙතන ලස්සන පිවිතුරු බව නැතිවෙනවා කියලා......"
මම විමසිල්ලෙන් ඈ දෙස බැලීය...
.
"අහස කියන දේවල් අහන්නත් කවුරු හරි ඉන්න එපෑයෑ....ඉතින් ඒ දුම අහස ඉවසගෙන ඉන්නවා...."
.
"පිස්සු..... ඔයා දන්නවද මම ඔයා කියන දේවල් අහගෙන ඉන්නේ ඇයි කියලා.... මේ ගදගහන නිකොටින් දුමත් එක්ක....."
.
"ඔව්.... මම දන්නවා....."
ඈ එවිට මා ආත්මයම දැවී අලුවී යන රැවුමකින් මා පිනවීය....
.
"හා... මොකටද.....?" ටික මොහොතකින් දහිරිය ගත් ඈ විමසීය...
.
"ඒ දේ පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ.... හිතන්න තව ටිකකින් අර ඈත අහසේ ඉදන් කඩං වැටෙන තරුවක් මෙතනට වැටෙනවා....මේ පැත්ත පලාතම විනාස වෙනවා.... ඔයා මොකද කරන්නේ....."
මම අවසාන සිගරට් උගුරින් පෙනහලු ගර්ත පුරවා ගත්තෙමි...
.
"මොනවා කරන්නද.... දැංම ඉදං පුලුවන් තරම් ඈතට දුවන එක මිසක්....."
.
"ඔයා හිතනවාද දුවලා මේ විනාසයෙන් බේරෙන්න පුලුවන් වේවි කියලා....."
.
"නැති උනත් අපි උත්සහ කරන්න ඕනේ.... ගිලෙන්න යන මිනිහා බලන්නේ පිදුරු ගහක හරි එල්ලෙන්න..."
.
"මට නම් ඕනේ ඒ කඩා වැටෙන තරුවේ උණුසුම විදින්න... ඒ කම්පණය හදවතට දැනෙන අන්තිම දේ කරගන්න... මේ කොළ පාට ගස් රතු පාටින් ගිණි ගද්දි ඒ එලියෙන් ඇස් ගිණිකන වට්ටගෙන අන්තිමේට අලු වෙලාම යන්න....."
.
"පිස්සු ඔයාට.... ඔයා හිතන්නේ ඔයා ෆිනික්ස් කුරුල්ලෙක් කියලද....."
කැරළි ගැසුණු දුම් රටා වියකී යෑමට ආසන්නය... ඒ සමගම ඈද මෑකී යාමට නියමිතය....
.
"නෑ මම මෙරුවෙක්.... අවුරුදු ගානක් පොළව යට ඉඳලා එලියට ආපු වෙලාවේම දකින පළවෙනි ආලෝකයෙන්ම උමතු වෙලා පිච්චිලා මැරෙන්න්ම පෙරුම් පුරන මෙරුවෙක්....... "
මම මිමිණීය.....
.
නමුත් ඈ මැකී ගොසිනි... ඈ නැවත කැන්දාගෙන ඒමට දුම් වැටියක් දැල්විය යුතුය.. නමුත් අවසාන සිගරට්ටුවද දැල්වු හෙයින් ඈ සමග අද දින ගතකල කාලය අවසන් ය... දැන් අහස රහස් කියන වේලාවයි.... ආත්මයම නිහඩ වූ පසුව පමණක් ඒ රහස් මිමිණීම මට ඇසෙණු ඇත....

මරීනයි මායි...

මරීනයි මායි...