Wednesday, January 27, 2016

නැවියෙක් නොකියපු කතාවක්...



නැවියෙක් නොකියපු කතාවක්...

.

මන් මහ පුදුම අදහස් තියෙන කොල්ලෙක්..පුන්චි කාලේ ඉදන් මගේ හීනේ වුනේ නාවිකයෙක් වෙන්න ...රුවල් නැවක නැගලා ලොකේ හතරකොනටම යාත්‍රා කරන්න..නොදන්න දේශ දිග්බාග හොයා ගන්න..එතකොටත් මම ගමේ වෙලේ සරුංගල් ඇරපු...මා ඔයට වඩා ලොකු වතුර පාරක් නොදැක්ක කොල්ලෙක්...පුන්චි කොල්ලෙක්..මට මතකයි මන් මුලින්ම මුහුද දැක්ක හැටි..මුලින්ම ගෝල් ෆේස් එකේ රැල්ල පාගන කොටත් මට අවුරුදු දහයක් ඇති වැඩිම උනොත්...ඒ තරම් ලොකු වතුර කන්දරාවක් දැකලා මම පුදුම වුනා ... හුස්ම ගන්නත් අමතක උනා...රැල්ල පාගලා හෙම්බත් වෙලා වැල්ලේ වාඩිවෙලා හිටපු මන් ඈත අහසයි මුහුදයි එකතුවෙන තැනින් ඉර ගිලෙන හැටි දැකලා පුදුමත් වුනා...ඒ අතරින් පතරින් තිබ්බ දුම් බෝට්ටු මාලු බෝට්ටු මන් ගනන් කලා...ඒ සයුර මැද්දේ එක නාවිකයෙක් වෙන්න තිබ්බ අසාව ඔඩු දිව්වේ ඔය වෙලාවේ තමයි....ඉතින් ඔය ලොකු හීනේ පුන්චි හදවතේ තියාගෙන මම ලොකු වුනා...කවදාවත් ඒ හීන වල බරපතලකම නොතේරුනු හින්දා ඒ මත්තේම ජීවත් උනා..මට බදාකරන්න කවුරුත් අවේ නෑ....

.

ඉතිං රුවල් නැව් නැති වෙච්චි ලොකයක දුම් නැවක නාවිකයෙක් වෙන්න මට පුලුවන් වුනා...දැන් මම නැවියෙක්..ලොකේ කෙලවරවල් ගානේ වතුර ටොන් බිලියන ගානක් උඩින් යකඩ වලින් මුට්ටු දාලා ඇත්තු වගේ ලොකු ඩීසල් බොන එන්ජින් වලින් පන ගත්තු ටවුන් එක වගේ විශාල නැවක...ගොඩබිම් යා කරන්න ලැසි ගමනින් ලිස්සලා යන නැවක නාවිකයෙක්... මෙච්චර කල් මන් පෙම් කරපු මුහුද මහ හිතක් පපුවක් නැතිව හැසිරෙන හැටි දැකලා මුලින්ම මට පිස්සු හැදුනා...නිල් පාට විතරක් තියෙන අහසකුයි මුහුදකුයි විතරක් තියෙන ලොකෙක මාස ගානක් යාත්‍රා කරනකොට කොල්ලෙකුට තමන් ගැන දැනගන්න තියෙන හැම දේම දැනගන්න ලැබෙනවා....මාස දෙකක් යද්දි කෙලිලොල් ඉලන්දාරියා මැරෙනවා...හැඩි දැඩි පිරිමියෙක් උපදිනවා...කාශ්ටක අව්ව හෙවනක් නැති සාගරයේ ඉන්න හොදම යාලුවා උනා....ලුණු වතුරෙන් පෙඟිච්චි අලි බඳින තේඩා වලටත් වඩා මහ කඹ

වලට අත් රලු වුනා....බ්‍රිජ් එකට ගහන යෝධ රැලි වලින් බිඳෙන පුන්චි හිම වගේ ලුණු වාශ්ප හුස්ම වුනා....තෙරක් නොපෙනෙන සයුරේ ගොඩබිම් හොයලම අව්වට ගිනිකම වැටිලම ඇස් හීන් වුනා..රලු පරලුවට කෑ ගහලම කටහඩ රලු වුනා...හීන හෙමිහිට බොඳ වුනා...අරමුණක් නැතිවුනා.... හොයාගන්න තිබ්බ ගොඩබිම් ඔක්කොම හොයාගෙන.... ඉතින් මන් ආයේ ගෙදර ගැන හීන මවන්න පටන් ගත්තා ....වෙල් එලිය ගැන ...අල ගල්ල ගැන...රේල් පාර ගැන ...කවි ලියන්න පටන් ගත්තා...ගමේ යාලුවන්ගේ හිනාවට ආදරේ කලා...ගෙදර එන්න ඇඟිලි ගැන්නා................

.

ඉතින් මන් ගෙදර ආවා...පුදුම සතුටකින්...හිතේ හැටියට සතුටු වුනා.............ගමේ කරක් ගැහුවා....කාලය ගෙව්නා......ටික කාලයයි...අතේ තිබ්බ සල්ලි ටික දිය වෙලාම ගියා....ගේ කෑල්ලේ වැඩ ඉතුරුයි...ඉදහිට අත්මාරුවකුත් ගත්තා...ආයෙත් රෑ හීනෙන්..මහ මුහුද අඬගහනවා ඇහුනා...වෙල් සිපලා එන සුලං රැලි වල මන් ලුණු රස හෙව්වා...වෙන දේකට අත හුරුකරගන්න හිතුනෙම නෑ..මහ උද්දච්ච ලීලාවක් මට තිබුනේ...ඒ නාවිකයන්ගේ හැටි...ඒක මගේ ලේ වලට ත් බැහැලා මට දැනුනා...කාටවත් ඔලුව නැමුවේ නැති හින්දා ආයේත් මුහුදු යන්න හිතුනා...එන සතියේ නැවට ගොඩවෙන්න තිබුනා........ඔය අතරේ හෙණ ගැහුවා වගේ ඔයාව දැක්කා............

.

මහ මුහුද මට අමතක වුන....ගමේ වෙල් එලිය අමතක වුනා...මුහුදටත් ගමටත් පායන එකම හද එලිය මට අමතක වුනා....ඒච්චරකට සුන්දර වුනා මගේ ලෝකය.... හැබැයි ඔබ දන්නේ නෑ...මම හිතෙන් විතරක් පෙම් කෙරුවා....හීන මැව්වා...ඒත්..නොකිව ආදරයක් හිතේ තියාගෙන මට මුහුදට යන්න වුනා.....මාස අටක්..මගේ හිතේ දුක තිබුනේ නොකිව ආදරක් ගැන විතරයි...හැබැයි මම හිටියේ සතුටින් ඒ මම ආදරේ කරන්න පටන් ගත්තු හින්දයි...තෙරක් නොපෙන්න යෝධ රැලි ඇති නිල් පාට සාගරයක් තනි වුනත් හිත තිබ්බේ ඔබ ලඟ...අව්වේ සැර මට දැනුනේ නෑ...කන පැලෙන්න මුහුද වදිනකොට මට දැනුනේ නෑ...ලොග් අවුට් ඩියුටි ගහනවා මට තෙරුනේ නෑ...මට දැනුනා මන් ඇත්තටම ජීවත් වෙනවා කියලා...රලු මුහුදට මන් ආදරේ කලා හැබැයි ඔයාට අඩුවෙන්...මම ලුණු රස ගේන සුලඟට....යෝධ මාලුන්ට...පෙණ නගින රැලි වලට...රටා මවන වලාකුලු වලට.....ඔයා ගැන කීවා...බොලාර්ඩ් එකක ඉඳගෙන ඉර බහින හැටි බලාන ඔයා ගැන හිතුවා...හඳ මහ ලොකුවට පායපු දවස් වලට මන් ඔයා ගේ විස්තර හඳෙන් ඇහුවා...අමුතු රටවල් වල අපි ගොඩ බැස්සා ...අමුතු ලොකයක් දැක්කා...අමුතු කෑම කෑවා....අමුතු අද්දැකිම් ගත්තා...ජීවිතය වින්ඳා....හැබැයි හිත හැම වෙලාවෙම ඔයා ගැන හිතුවා.....ඉතින්....ආයේ ගෙදර යන්න දින ගනින්න ..කැලෙන්ඩරේ කොටු කපන්න පටන් ගත්තා....

.

ඒ මාස අට ගෙවලා මන් කුරුල්ලා වගේ ගෙදර අවා..ඒත් ගම ඉහත්තාවෙන් කලු වලාකුලක් තිබ්බා මන් එද්දි..අකලට වහින වැහි ගැන අපේ අත්තලා මුත්තලා වගේම මමත් පුන්චි කාලේ ඉදන්ම බයයි... කොකටත් මම විපරම් කරලා බැලුවා....මගේ කැදැල්ලට ගේන්න හිටපු කිරිල්ලි කාටදෝ සින්නක්කරම අයිති වෙන්න යන්නේ..හදිස්සියේම දෙතොලට නුහුරු ලුණු රසක් දැනුනා...මන් හිත ගල් කරගත්තා...සේලරුවෝ දරඳඩුයි....මුහුදේ ලුණු රස විතරක් මේ දෙතොල දැනගත්තහම ඇති....ඔයා සතුටින් හිනා වෙන හැටි දැකලා මගේ දුක බාගයක් හිඳුනා....ඉඳහිට පාර තොටේදි මං හොරෙන් ඔයා දිහා බැලුවා...සතුටු වුනා...දුක් වුනා...කාලය ගෙව්නා...ඇත්තටම ඔයා වාසනාවන්තයි....සොල්දාදුවෙක් ගාව නවතිනවටත් වඩා කිරිල්ලියක් සේලරුවෙක් ගාව නවතින්න බය වෙන්න ඕනේ...මහ මුහුදත් එක්ක අපේ ජීවිත ගැන වග කියන්න බැරි එකයි....හුදකලාවයි එක්ක තනිවෙන්න ඔය ඇස් පව් කරලා නෑ....ඉතින් මන් හිත හදා ගත්තා.....

.

ඉතින්.....මට ආයෙත් මට මුහුද මතක් වෙනවා...රැලි වැදෙන සද්දේ මට ඇහෙනවා....කාලෙකදි වයිර කරත් හිතක් පපුවක් නැති මුහුදට මන් ආදරෙයි..මන් ඉපදුනේ මේකට....ආයෙත් මුහුදේ තනිවෙද්දි....ලුණු රස ගේන සුලඟ....යෝධ මාලු...පෙණ නගින රැලි...රටා මවන වලාකුලු.....ඔයා ගැන අසාවී....මගෙන්......සිනහවක් මුවට නඟා ඔබ සතුටින් යැයි මට ඔවුන්ට කිව හැක...මුහුද අකාරුණික වු විට....යෝධ රැලි නැව් බඳට පහර දී ගිලගන්න තනන විට...වැසිදිය ඩෙක් එක හිල් කරන්නට හදන විට...සුලඟ ඉවක් බවක් නැතිව සැඩ වෙන විට..... කුණාටු නැව ගිලගන්න තනන විට....කදුලු නොවටුනු දෙනෙතක කෙලවර ඔබ සැමදිනම සතුටින් සිටින නිසා...මට සිනහ විය හැක....උහුලාගන්න බැරි මොහොතක විස්කි බොතලයක් තුරුල් කරන් කැබින් එකේ ලෑලි මේසයට තාලයට ගසමින් ඔබ ගැන කවියක් කීමට මට හැකි වෙනු ඇත..... මන්ද මා තනිවම මහ මුහුද මැද ඉන්නා සේලරුවෙක් නිසා...............................

No comments:

Post a Comment

මරීනයි මායි...

මරීනයි මායි...