Tuesday, August 2, 2016

තරු අතර සිතිවිලි....


අහස හොඳටම බලාගන්න පුලුවන් තැන කොතනද කියලා මං හුඟක් කල් ඉඳන් හෙව්වා.... හොයන්නාට හම්බ වේ කියලා කතාවක් තියෙනවනේ...එන්ජින් රූම් එකේ ඩියුටිය ඉවරවෙලා ඩෙක් එකට ආපු ගමන් රත්වෙලා තිබ්බ ඇඟ හීතල කරගෙන හූළඟ ඇඟේ වදිද්දි තමයි ඇඟ කිලිපොලා ගිහින් දෙයියනේ මං මුහුඳ මැද්දේනේ කියලා හිතෙන්නේ.... ඔය වෙලාවට තමයි ගාඩ් ග්‍රිල් එක අල්ලං ක්ෂිතිජය කොතනද කියලා බලන්න හිතේන්නේ. ඒ වෙලාවට රෑද දවල්ද කියලා වෙනසක් නෑ. තමන්ගේම සයිකෝ ලෝකයක තනිවෙන්න හොඳම වෙලාව.
.
යාන්තමට තරු එලියට අඳුරු පැහැ ගත්ත යෝධ රැලි උඩින් යන නැවේ ඉඳගෙන එහෙමත් එක්කෙනෙක් තමයි ඒ ජල කඳට යට තියෙන දේවල් ගැන හිතන්නේ.. මං නම් හුඟ වෙලාවට අහසෙන් ඇස් දෙක ගන්නේ නෑ...ඉස්සරහින් පිටිපස්සෙන් ස්ටාර් බෝඩ් සයිඩ් එකෙන් පෝට් සයිඩ් එකෙන් හැමතැනින්ම කෙලවරට යනකන්ම මුහුඳ විතරයි.ඒත් ඒ හැම දේකටම ඉහලින්.කොයි දේටත් වැඩියෙන් අහසම විතරයි...මං පහන් තරුව හොයන්න පටන් ගත්තා....එතකොටම දන්න කියන තරු රටා කීපයක්ම ෆුල් ෆෙඩප් එකේ මං දිහා බලනවා දැක්කත් මං නොදැක්කා වගේ හිටියා.. හැමදාම අපේ විකාර බල බල අහසේ එල්ලිලා ඉන්න එපා වෙනවත් ඇති.. කම්මැලි කමට උන් එෆ්.බී යන්නයැ....
කොහොම උනත් එක අහසේ හිටියත් තරු අතරෙත් පුදුම විරසකයක් තියෙන්නේ.රුවන් බන්දුජීවගේ කවියක් එක පාරටම ඔලුවට ආවා... හරියටම මතක නොතිබ්බත් මං ඒක මිමිණුවේ තරු වලට ඇහෙන්න....
.
නැවියෙකුට හෝ මගියෙකුට මිස
තමන්ගෙම එකෙකුට
පහන් තරුවක්
මග කියන් නැත ...
.
ගොඩබිම් පැත්ත මං ඉස්සරහින්ම ලාවට අඳුරු තීරුවක් වගේ කෙලවරටම වෙන්න හැංඟිලා...එයිනුත් කෙලවර අකුණු ගහන හැටි පේනවා..ඒ පැත්තට හයියෙන්ම වැස්සත් මං ඉන්න තැනට වැස්සක වගක්වත් නෑ... එතකොට තමයි මේ මුහුද මැද්දේ අපි කොච්චර පොඩිද කියලා කියලා හිතෙන්නේ...ඒ වැහි වළාකුළු උඩින් ඉඳගෙන දිලිසෙන තරු පවා මට පේනවා...එච්චරකට විශාල අවකාශයක හතර දිබ්බාගෙන්ම තියෙන එකම දේ මං ඉන්න නැව විතරයි.................
මේ පල් හැලි කියවලා වැඩක් නෑ...මේ අර අඳින්නේ අහස ගැන උනන්ඳු අයට විශ්ව න්‍යාක විද්‍යාව ගැන සින්බෑඩ් දන්න දේවල් කියලා දෙන්න...ඉතින් සින්බෑඩුත් ලොකු දෙයක් දන්නේ නෑ හැබැයි කොතනින් හරි පටන් ගන්න ඕනේ දැනගන්න...සාමාන්‍යයෙන් නැවියෙක්ට අහස ගැන හොඳ දැනීමක් තියෙනවා කරුමෙට මට ඕක නෑ...ඒත් කියවලා තිබ්බ දේවල් වලින් මවා ගත්ත චිත්‍ර රූපේ හරි ලස්සන හින්දා ටිකක් අකුරු කරන්න හිතුවා..

ඇත්තටම ඒ හුඟක් කාලෙකට ඉස්සර.... හැම දෙයක්ම පටන් ගන්න ඉස්සර... ඔයයි මායි එක තිතක් ඇතුලේ හිරවෙලා හිටිය දවස් වල...පරමාණුවකටත් වඩා කුඩා තිතක් අස්සෙ තමයි ඔයයි මායි අනෙක් හැමෝමයි හිරවෙලා පැක්වෙලා හිටියේ...කොච්චර කල් අපි හිරවෙලා හිටියද,ඊට ඉස්සර මොකද වුනේ මොනවද තිබුනේ කියලා කවුරුත්ම දන්නේ නෑ...ඔය තිතට ආදිකල්පික පරමාණුව (Primeval atom) කියලාත් කියනවා..

හැම දෙයක්ම පටන් ගත්තේ තිත අස්සේ හිර වෙලා ඉඳිම එපා වුණ දවසේ ඉඳන්. හැබැයි ඒ අවුරුදු බිලියන 13.8 කට ඉස්සර... බැංකු ණයක පොලී අනූපාතය වගේ 13.8 ක් කීවට අවුරුදු බිලියන කියපුවම සෙල්ලම්ද... විශ්වය ගැන කතා කරද්දි ලොකුවට හිතන්න ඕනේ... හැබැයි පරමාණුවක් ඇතුලෙත් අපට හිතාගන්න බැරි තරම් විශාල විශ්වයක් තියෙනවා.ඒ වෙලාවට ඉලක්කම් බිංදු නොදැක්කා වගේ ඉන්නේ නැතුව මේවා ගැන හිතුවොත් ඔලුව අවුල් වෙනවා... බිලියනයකට බිංදු කීයද කියලවත් ඔලුවට එන්නේ නැති වෙලාවක් වුනත් මිනිහෙක් ජීවත් වෙන අවු 100 ක් උපරිමයක් එක්ක අවු බිලියන 13.8ක් කියන්නේ කල්පයකට විතර ඉස්සර තමයි....

කල්පයක් කියපුවම බෞද්ධ සාහිත්‍යයේ අර්ත දැක්වීම් කීපයක් තියෙනවා..එතනින් මං කැමතිම එක තමයි දහඅට රියනක් උස දහඅට රියනක් පළල දහඅට රියනක් දිග පෙට්ටගමක් ඇතුලේ කට ගාවට එනකන් අබ ඇට පුරවලා අවුරුද්දට එක ගානේ අබ ඇට අයින් කරපුවම අන්තිම අබ ඇටේ අයින් කරන්න යන කාලය කල්පයකට සමානයි හෝ අඩු වෙන්න පුලුවන් කියලා..එහෙම බලද්දි කීප වාරයක් අපි මේ තිත අස්සේ හිර වෙලා නිදහස් වෙලා අයේ හිර වෙලා ඉන්න ඇති....

හැබැයි ඒ හැම වරකම ඔයා තමයි මගේ ලඟින් ම හිටියේ.මට වැඩිපුරම දැනුනේ.... ඒත් අපි දන්න කියන කාලය හා අවකාශය කියන සංකල්ප දෙක පහළ වෙච්ච මොහොතේ තමයි අවසාන වතාවට මේ තිත පුපුරලා ගියේ.සමහරු කියයි අපි ඔක්කොම එක තිතක හිරකරගෙන ඉඳලා තිතටත් එපා වෙන්න ඇති කියලා.ඒත් අපි දෙන්නා එකට වෙලිලා ඉන්න එක දැකලා කාගේ හරි ඇස්වහක් වැදුනා.... සමහර විට පරීක්ශණ නලයක විශ්වයන් කෝටි ගානක තිත් තියාගෙන අණ්වීක්ශයකින් අපි දිහා බලාගෙන ඉන්න කාගේ හරි වෙන්න ඇති.

ඉතින් හිරවෙලා ඉඳිල්ල එපා වෙච්ච තිත මහ සද්දෙට පුපුරලා විශ්වයක උපත සිද්ද උනා.අපේ පරමාණු ඈතටම විහික් වුණා. හැබැයි නිතර නිතර අන්තර් ආකර්ශණ බල හින්දා ඇති වෙන චලිත උදව් කරගෙන එක ළඟට වෙන්න ඒවා උත්සහ දරන්න ඇති.ඒවා එකිනෙකට හොඳින් අඳුරනවා ඇති අපේ ස්වරූප වෙනස් උනත්... ඒවා එකිනෙකට ආදරේ කරන්න ඇති අපි නොදැණුණා වගේ හිටියත්...ඉස්සරහටත් එහෙම්ම වෙයි.... ඈතට ඈතට ගියපු දේවල් නැවත කවදා හරි තිතක් ඇතුලේ කොටු වෙනවමයි.. එදාට ආයෙත් හුඟ කාලෙකට මඟේ ළඟ ඉන්න පුලුවන් වෙයි...



ඉතින් කාලය කියන එක හටගත්තට පස්සේ හැමදේටම ජීවය ලැබුණා.කාලය තමයි උත්තරීතර. පළවෙනි මිලි තත්පරය විශ්වය තුල හට ගද්දිම කුඩා තිතක් වෙලා තිබ්බ විශ්වය අනන්ත අපරිමාණ විශාලත්වයකින් යුක්ත වෙන්න අරමුණක පැටලිලා කෙලවරක් දකින්න බැරි උනත් තවත් ප්‍රාසාරණය වෙනවා...අන්තර් අවකාශය වැඩි කරගන්නවා... හරියට ලංකාවේ මන්ත්‍රී ගොල්ල සල්ලි හම්බකරනවා වගේ..



එච්චරකට විශාලත්වයක් එක තිතක් තුල පුපුරා යාම මොනතරම් පුදුම සහගත දේවල් වල ආරම්භයක්ද කියලා ලාවට වගේ තේරිලා ආපු හින්ද අපේ මිනිස්සු මේ පිපිරීමට Big Bang කීවාද......? නෑ......මේ මතය ගෙන ආපු මිනිහට මඩ පාරක් ගහන්න තමයි සමහරු මේ තියරියට සමච්චලේට තමයි මහ පිපුරූම් වාදය කීවේ... කොහොම උනත් දැන් හැමදෙයක්ම තහවුරු කරගන්න අලුත් දේවල් හොයාගන්න මුලින්ම අඩිතාලම වෙච්ච කල්පිතය ජෝජ්ස් ලෙමාටර්ගේ මහ පිපුරුම් වාදය කියලා රන් අකුරෙන් ලියවිලා ඉවරයි... අර වතුර ජෝග්ගුව වගේ රූප සටහනේ ඇඟිල්ල තිය තිය බල රේඛා ලකුණු කර කර විස්තර කරන්න මට ඕනේ නෑ..මේ පොඩි කියවිල්ලක් විතරයි...

කොහොම උනත් අපේ පරමාණූ සී සීකඩ විසිකරපු බිග් බෑන්ග් එකෙන් ඉපදුනේ කාරණා 2 යි..

1. කාලය.

2. අවකාශය

කාලය කිසිම දෙයකින් යුක්ත වෙලා තිබුනේ නෑ.. පිරිලා තිබුනේ නෑ .හැබැයි තත්පර වලින් පිරෙන්න ගත්තා.. කාලය කියන්නේ හැමදේම. දෙවියන් කියලා කෙනෙක් ඉන්නවනම් ඒ තමයි කාලය.කාලය නිරපේක්ෂයි කියලා සම්මතයක් තිබුනත් අපි හැමෝම කාලය සාපේක්ශ කරගෙන වැඩ ටික කරගන්නවා...කාලය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.. නිව්ටෝනියානු කාලයේ ඉඳලා විශ්ව කාලීය කැලන්ඩරය... කාල නැම්ම...කාල ශෝධනය...කාල ප්‍රතිවර්තක..කාල තරණය..කලු කුහර...වගේ ලොකු කතා ගොඩාක් තියෙන හින්දා අපි අවකාශය ගැන මුලින්ම කතා කරලා ඉමු... ඇයි ඒක ටිකක් ලේසියෙන් කියන්න පුලුවන් දෙයක් හින්දා කාලයට සාපේක්ෂව..


ආදිකල්පික පරමාණූව නැත්තන් ඒ පුන්චි තිත අස්සේ තිබ්බ අවකාශය තමයි පුපුරලා ගියේ..ඒ අවකාශය අන්තරීක්ෂය ගින්නේන් දැවුණා විශ්වයේ ප්‍රසාරණය පටන්ගනිමින්....අපි දන්න සියලූම ශක්තීන්ට හා අපි අද දන්න කියන හැම දේටම උපත දෙමින්... ප්‍රසාරණයත් එක්කම විශ්වය සිසිල් වෙන්න පටන් ගත්තා...මුල්ම අවුරුදු මිලියන 200 ක් පහුවෙනකන්ම මේ අවකාශය පිරිලා තිබුනේ සියුම් සුදු පැහැති මීදුම් වලාවකින්...හයිඩ්‍රජන් ප්ලාස්මාවකින්.... අවකාශය සුදු පැහැති මීදුමකින් වෙලි තිබුනත් මේ කාල සීමාව විශ්වයේ අඳුරුම කාල සීමාව කියලයි හඳුන්වන්නේ....මේ අවුරුදු මිලියන 200 ඇතුලේදි ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන එකතු වෙලා උදාසීන අංශු වන නියුට්‍රෝන සාදමින් වායු අංශු සෑදිමත් සමගම ගුරුත්වාකර්ශනය හා අන්තර් ආකර්ශණ බල උපයෝගී කරගෙන එකතු වු රත් වු වායු අංශු මඟින් විශ්වයේ මුල්ම තරුකා බිහිවුණා... ඒ තරුකා වල එකතුවීමෙන් මන්දාකිණි සෑදුණා...අපි දන්න කියන විශ්වය හටගත්තා... අපි ත් හැදිලා ඉන්නේ තරුකා වල අළු මතින් වගේම අපේ අළු මතින් කවදාහරි තරු බිහිවෙයි...... අනන්ත අප්‍රමාණ තරු තියන අවකාශයක් ගැන කතා කරද්දි විශ්ව න්‍යාක විද්‍යාවේ උපත ගැන කතා කරන්නේ නැතුව කොහොමද...?

විශ්ව න්‍යාක විද්‍යාව කියන්නේ මේ දේවල් ගැන බැරෑරුම්ව කතාකිරීම. විශ්ව න්‍යාක විද්‍යාව ආරම්භ වෙන්නේ එක සරල ප්‍රශ්නයකින්....ඒ තමයි 
"ඇයි රාත්‍රී අහස මෙතරම් අඳුරු.....?"
කොහොම හරි ඒ ගැන මුහුණු පොතේම පළවෙච්ච රසවත් ලිපියක් මෙතන අමුණලා මං අදට මාරුවෙන්න යන්නේ.....කැමති අය කියවන්න...

ඊළඟදවසේ අනන්ත විශ්වයක් ගැන මුලින්ම ලෝකෙට කියලා අවුරුදු ගානක් හිරබත් කාලා ගිනි තියලා මැරුව ජෝර්දානෝ බෘනෝ ගැන කියන්නයි හිතාගෙන ඉන්නේ.

සේල්රුවා.
*****************************


"ඇයි රාත්‍රී අහස මෙතරම් අඳුරු.....?"

උපුටාගැනීම Fans of Astronomy
විශ්ව න්‍යාය විද්‍යාව( Cosmology)
.
විශ්ව න්‍යාය විද්‍යාව යනු විශ්වයේ ස්වභාවය, එහි හැඩය, ව්‍යුහය හා පැවත්ම යනාදී කරුණු සම්බන්ධයෙන් අධ්‍යයන කෙරෙන්නා වූ භෞතික විද්‍යාත්මක න්‍යායන් මත පදනම් වූ විෂයකි.නමුත් විශ්ව න්‍යාය විද්‍යාව ඇරඹෙන්නේ බැලූ බැල්මට නොවැදගත් යයි හැඟෙන්නා වූ එක් කුඩා පැනයකිනි. ක්‍රි.ව 1610 දී පමණ ජොහැන්ස් කෙප්ලර්ගේ අවධානයට යොමු වුනු මෙම ප්‍රශ්නය වඩාත් සාකච්ඡාවට බඳුන් කරනු ලැබුවේ ජර්මානු ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ හෙන් රිච් ඔල්බර්ස් විසිනි. එම පැනය " රාත්‍රී අහස අඳුරු ඇයි?" යන්නයි.

ඔල්බර්ස් විසින් විශ්වය විග්‍රහ කරනු ලැබුවේ අහඹු ලෙසින් තාරකා විසිරී පවත්නා පරිමිත (finite) අවකාශයක් ලෙසිනි. නිව්ටන් විසින් සිය ගුරුත්වාකර්ෂණ නියමය යොදා ගනිමින් තාරකා අතර පවත්නා ගුරුත්වාකර්ෂණ බලයක් හේතු කොටගෙන කාලයත් සමඟ තාරකා සියල්ලම එකිනෙක මත වැටී එකම පදාර්ථ කොටසක් බවට පත්විය යුතු බව පෙන්වා දුන්නේය. නමුත් මෙය කිසිසේත් සිදු විය නොහැකිය. එබැවින් විශ්වය ස්ථිරවම පවත්නා අනන්ත ලෙස පැතිරුණු තාරකා වලින් සමන්විත විය යුතු යැයි නිව්ටන් යෝජනා කළේය. එසේ වීමට නම් විශ්වයේ පවතින තාරකා ඉතා පැරණි විය යුතු අතර ඒවා කැපී පෙනෙන වෙනස් කම් වලට බඳුන් නොවී දීර්ඝ කාලයක් පැවතිය යුතුය. නමුත් මෙබඳු ස්ථිර, අනන්ත විශ්වයක් පිළිබඳ සංකල්පය එක්තරා ප්‍රබල ගැටළුවක් මතු කරන බව ඔල්බර්ස් නිරීක්ෂණය කළේය.

තාරකා විසිරුණු අවකාශය අනන්ත ලෙස පැතිර තිබේනම් අපගේ ඇසට පෙනෙන සෑම ලක්ෂ්‍යක්ම අවසානයේ යම්කිසි තාරකාවක් කරා යොමු විය යුතුය. එනම් කුමන දිශාවකින් රාත්‍රී අහස දෙස බැලුවද අපට තාරකාවක් දිස් විය යුතුය. එසේ නම් රාත්‍රී අහස ද සූර්යයා හෝ පෘථිවිය මෙන් බබලන එකම ආලෝකයක් ලෙසින් දිස් විය යුතුය. නමුත් ගැටළුව නම් රාත්‍රී අහස සැබවින්ම අඳුරු වීමයි. මෙම ගැටළුව ඔල්බර්ස්ගේ විසංවාදය (Olber's paradox) ලෙසින් හැඳින්වේ.

ඔල්බර්ස් ගේ විසංවාදය අනුව නිව්ටන් විසින් විස්තර කරණු ලැබූ පරිදි විශ්වය ස්ථිර, අවකාශයක් විය නොහැකිය. අපට නිව්ටෝනීය විශ්වය තලයක නිරූපනය කළ හැක. ( පෘථිවිය ත්‍රිමාන වස්තුවක් වුවද ලෝක සිතියමක් කඩදාසියක නිරූපනය කළ හැක.) මෙම ආකෘතිය නිව්ටෝනීය කාලය සමඟ සැසඳේ. නිව්ටෝනියානු කාලය නිරපේක්ෂය. විශ්වයේ කවර ස්ථානයක් වුවද කාලය ගතවන්නේ එකම වේගයකිනි.නමුත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව විශ්වයේ සෑම ස්ථානයකම කාලය ගත වන්නේ එකම වේගයකින් නොවේ. එය නිරීක්ෂකයා මතත්, චලිත ස්වභාවය මතත් රඳා පවතී. සාපේක්ෂතාවාදය අනුව ගුරුත්වාකර්ෂණය නිසා කාලය හා අවකාශය නැමීමකට ලක්වේ. ඒ අනුව අප විශ්වය නිරූපණය කිරීමට යොදා ගන්නා තලයේ ඇතැම් ස්ථාන වල නැමීම් සහ කඩතොළු වීම් ඇති වේ.

1915 දී අයින්ස්ටයින් සිය සාමාන්‍ය සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන තෙක් විශ්වය සැලකුනේ නිව්ටන් ප්‍රකාශ කළ පරිදි ස්තිථික, පරිමිත අවකාශයක් ලෙසිනි. සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ ගණනය කිරීම් වලට අනුව විශ්වය ප්‍රසාරණය වෙමින් හෝ සංකෝචනය වෙමින් පැවතිය යුතු බව පෙන්නුම් කෙරුණ ද ඒ වන විට ස්තිථික විශ්වය පිළිබඳ සංකල්පය තරයේ විශ්වාස කරමින් සිටි අයින්ස්ටයින් සිය සමීකරණ වලට විශ්ව නියතය(Cosmological constant)[Ω] එක් කරමින් විශ්ව ස්තිථික අවකාශයක් බව දැක්වෙන පරිද්දෙන් එම සමීකරණ නැවත සකස් කළේය.විශ්ව නියතය මගින් දැක්වෙනුයේ විශ්වය ප්‍රසාරණය වීම සඳහා අවශ්‍ය වන්නා වූ පීඩනයයි. අයිස්ටයින්ගේ අදහස වූයේ එම පීඩනය ගුරුත්වාකර්ෂණ බලයන්ට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරමින් විශ්වය සංකෝචනය වීමට ඉඩ නොදී ස්ථායිව පවත්වාගෙන සිටින බවයි. මෙම සංකල්පමය අදහස හැරුණුකොට යන්නට වෙනත් කිසිදු භෞතික විද්‍යාත්මක පදනමක් නැත. නමුත් අයින්ස්ටයින්ගේ මෙම විශ්වාසය ඔහුට නව සොයා ගැනීමක් කිරීමට තිබූ අවස්ථාව අහිමි කරන ලදී.එම විශ්වාසය නොවන්නට විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව මුලින්ම ප්‍රකාශ කිරීමට අයින්ස්ටයින්ට හැකියාව තිබුණි. ඉන් ටික කාලයකට පසුව එඩ්වින් හබල් විසින් විශ්ව ප්‍රකාශන සංකල්පය ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම "විශ්ව නියතය" තම ජීවිතයේ ඉතා විශාලම වැරදීමක් බව අයින්ස්ටයින් විසින් පිළිගන්නා ලදී.

ඔල්බර්ස්ගේ විසංවාදය සඳහා විවිධ පැහැදිලි කිරීම් මුලදී ඉදිරිපත් වුනි. තරු අතර පවතින දුවිලි මෙයට හේතු විය හැකි බව ප්‍රකාශ විය. නමුත් මෙය අසත්‍යයකි. එම වායු සහ දූවිලි අයණීකරණය වී නැවතත් ශක්තිය විමෝචනය කරන නිසා මෙය පිළිගත නොහැකිය. එසේම තරු වලට ඇති දුර වැඩිවත්ම එයින් ලැබෙන ආලෝකයේ තීව්‍රතාවය 1/r^2 කින් අඩු වන නිසා මෙසේ දිස්වන බව සමහරෙකුට සිතුනත් දුර වැඩිවත්ම අපට පෙනෙන අහස් ගෝලයේ වර්ගඵලය r^2 ගුණයකින් වැඩි වන නිසා එමගින් මෙම පැනයට කිසිදු පිළිතුරක් ලබා නොදෙයි.

අවසානයේ ඔල්බර්ස්ගේ විසංවාදය එනම් "රාත්‍රී අහස අඳුරු ඇයි" යන පැනයට පිළිතුර නම්

01. අප ජීවත්වන්නේ ප්‍රසාරණය වන විශ්වයක බවයි. එනම් විශ්වය ස්ථිතික නොවේ.මෙනිසා ඩොප්ලර් ආචරණය මගින් ඈත පිහිටි තාරකා වල ආලෝකය දිගු තරංග ආයාම දෙසට නැඹුරු වන අතර එම නිසා පෘථිවියට ලඟා වන විට එහි තරංග ආයාමය වර්ණාවලියේ දෘෂ්‍ය ප්‍රදේශයේ නොපිහිටයි.

02. අප විශ්වය යම් කිසි කාලයකට පෙර ආරම්භ වී ඇත. එනම් පෘථිවියේ වයසට වඩා ආලෝක වර්ෂ ගණනක් දුරින් පිහිටි තාරකා වලින් තවමත් ආලෝකය ලැබී නොමැත. එනම් අපට පෙනෙන විශ්වය නැතහොත් නිරීක්ෂණාත්මක විශ්වය පරිමිත බවයි. නමුත් විශ්වය තවමත් අපරිමිත විය හැකිය. නිරීක්ෂණාත්මක විශ්වයේ සීමාව cosmic particle horizon ලෙස හැඳින්වේ.

විශ්වය පිළිබඳ ආකෘති තැනීමේදී කරනු ලබන ප්‍රධාන උපකල්පන

♣ සර්ව දිශ්‍ය (Isotropic)
♣ සමජාතීය (homogeneuos)
♣ විශ්වීය (Universality)

• සර්ව දිශ්‍ය (Isotropic)

විශාල පරිමාණ වලදී විශ්වය සෑම දිශාවකින්ම එකම ආකාරයකින් දිස් වේ.

• සමජාතීය (homogeneuos)

විශාල පරිමාණ වලදී විශ්වයේ සෑම තැනම එකම භෞතික ලක්ෂණ ඇත.

• විශ්වීය (Universality)

භෞතික විද්‍යාත්මක නියම විශ්වයේ සෑම තැනකටම සත්‍ය වේ.


************************************************

No comments:

Post a Comment

මරීනයි මායි...

මරීනයි මායි...